ජුසේ වාස් මුනිතුමා

මහනුවර ඇතිවූ පීඩනය
ක්‍රි.ව 1699 දී ජුසේ වාස් මුනිතුමා කොළඹ හා මීගමු ප්‍රදේශ වල සංචාරය කරමින් සිටි
වකවානුවක සිය සොයුරියගේ පුත්‍රයා වූ ගරු ජෝසප් කර්වල්හෝ පියතුමා පමණක් මහනුවර දේවස්ථානයේ විසුවේය. මෙකල බලවතෙකු මෙන්ම වත් පොහොසත්කම් ඇති සිංහල බෞද්ධයෙකු ව්‍යාපාරයක් පටන්ගත්තේය. දේවස්ථානයෙන් වැඩි ඈතක නොපිහිටි ඔහුගේ නිවස, වසූරිය වසංගතය පැතිර තිබූ සමයේ ජුසේ වාස් මුනිතුමා රෝහලක් ලෙස භාවිතා කළ නිවාස හතරට කිට්ටුව පිහිටියේය. මෙවකදී ස්ථීර රෝහලක් බවට පත්ව තිබූ එම නිවාස සතර, වසංගතයෙන් පසු කලෙකදී ජුසේ වාස් මුනිතුමා විසින් මිලදී ගන්නට ඇත. ඉහත කී සිංහල ජාතිකයා තම ආධිපත්‍ය ක්‍රියාවට නංවමින්, ගිලනුන් තම නිවෙසට වඩාත් කිට්ටුව විසීම තම නිවැසියන් හට කරදරයක් බැවින්, එම රෝහල එතැනින් ඉවත් කර නිවාස කඩා බිඳ දමන ලෙස කර්වල්හෝ පියතුමාට අණ කළේය. එයට පිළිතුරු දෙමින් ගරු ජෝශප් කර්වල්හෝ පියතුමා කියා සිටියේ තමා එම දේපල හි අයිතිකරු නොවන
බැවින් එය විනාශ කළ නොහැකි බවය. සියලූම රෝගීන් ගොඩනැගිලි තුලින් ඉවත් කරන ලෙස ඉහත කී සිංහල ජාතිකයා තම පාක්ෂිකයන් හට අණ කළේය. ඉන් අනතුරුව නිවාසද විනාශ කළ ඔහු එම භූමිය අත්පත් කරගත්තේ ය.
එම සැහැසිකර ක්‍රියාව ඉටු කරගත් පසු, කැරැල්ලෙහි කුමන්ත්‍රණකරුවන් රජුගේ
විනිශ්චය පිලිබඳ මහත් බියකින් පසු විය. මේ අනුව ඔවුහු එකතුව වහා තීරණයකට එළැඹී රජු හමුවට ගියෝය. ඉහත කී සිංහල ජාතිකයා ප්‍රමුඛ කැරැල්ලේ ප්‍රධාන නායකයින් ද, බෞද්ධ භික්ෂූන්ද, රජමාළිගය වෙත ගියෝය. රජු වෙත කන්නලව්
වැළැක්වීම සදහා සාර්ථක පියවරක් ගන්නා ලෙසත්, ඒ සියල්ලන්ටම වඩා ජුසේ වාස් මුනිතුමා නැවත මහනුවර වෙත පැමිණීම වලක්වන ලෙසත් ඔවුන් ඉල්ලා සිටියෝය. ප්‍රථමයෙන් දේශපාලනමය හේතු ඉදිරිපත් කොට කරුණු දක්වා සිටියද, එයට රජුන් සාර්ථක ප්‍රතිචාරයක් නොලැඛෙන බව පෙනෙන්නට වූයේ, ප්‍රසිද්ධියේ විප්ලවයක් ක්‍රියාත්මක කරන බවට ඔවුහු තර්ජනය කළහ. දෙවන විමලධර්මසූරිය රජු, ඔවුන්ගේ බලයට අර්ධ වශයෙන් යටත් විය. ගරු ජෝශප්
කර්වල්හෝ පියතුමාගේ ජීවිතයට කිසිදු අනතුරක් නොකර එතුමන් සතු සියලූ පූජා භණ්ඩ අනෙකුත් දේ රැගෙන යාමට ඉඩදෙනු ලබන පොරොන්දුව මත එතුමා රාජධානියෙන්
පිටකිරීමේ යෝජනාවට රජු එකග විය.
රජු ඉදිරියේ මෙයට එකග වූ, මෙම කුමන්ත්‍රණකරුවන් ගරු ජෝශප් කර්වල්හෝ පියතුමා හට නොයෙකුත් හිංසා පීඩා කළ බැවින්, දේව මෙහෙය සදහා භාවිතා කරන භාණ්ඩ සමූහය ද, පියතුමා රැකගත්තේ මහත් අසීරුවෙන්. මහවැලි නදියෙන් එතෙර, මහනුවර සිට සැතපුම් කිහිපයක් දුරින් පිහිටි අන්තෝනියෝද හොර්තාගේ නිවසක ගරු ජෝශප් කර්වල්හෝ පියතුමා රැකවරණය
ලැබීය. පියතුමා මහනුවරින් පිටත්වී දින 25 කට පසු අන්‍යාගමිකයෝ දේවස්ථානය විනාශ
කළේය. කැරැල්ල සදහා අන්‍යාගමිකයන් පෙළඹවූ සිංහල ජාතිකයා ඔහු කළ අපරාධයන්ට නොපමාව දඩුවම් ලැබීය. දරුණු ආබාධයක් ඔහුට වැළදිනි. තම දෙපයේ ක්‍රියාකාරීත්වය සම්පූර්ණයෙන් අහිමිව අංශභාගයෙන් පෙළුන අතර ඔහුගේ දිවෙහි දරුණු පිළිකාවක් ද හටගත්තේය. තුවාලයෙන් පිරීගිය ඔහුගේ මුළු ශරීරයම වණයක් විය. ඔහු අත් දුටු මේ බලවත් වේදනාවෙන් මහනුවර විසූ කතෝලික හා අන්‍යාගමික සියලූ වැසියෝ සැලකුයේ දෙවියන් වහන්සේ විසින් පමුණවන ලද දඩුවමක් ලෙසිනි.
මෙම පුවත කනවැකුණු ජුසේ වාස් මුනිතුමා කදුළු වගුරවමින් හඩා වැළපී බොහෝ වේලාවක් දණින් වැටී යාච්ඤා කළේය. එකල එතුමා සිටියේ සීතාවක ප්‍රදේශයේය. මෙය සිදුවූයේ ක්‍රි.ව. 1699 මාර්තු අප්‍රේල් අතර කාලයේ ය.එනම් කොරොස්ම කාලයේදීය. ඉතා ඉක්මනින් තමා මහනුවරට යා යුතු බැව් සිතූ ජුසේ වාස් මුනිතුමා අන්තෝනියෝද හෝර්තාගේ නිවසට පැමිණෙන තෙක්ම පියතුමා ඉහත සදහන්ද, පිළිබඳ සම්පූර්ණ විස්තරය නොදත්තේ ය. දෙව්මැදුර විනාශ
කරන ලද බව ජුසේ වාස් මුනිතුමා දැන ගත්තේද මෙහෙදීය. ඒ විගසින්ම මහනුවර වෙත යෑමේ බලවත් අවශ්‍යතාවයකින් පෙළෙන ලද නමුත් තොටියන් විසින් එතුමන්ට ගගින් එතෙර කරවීම ප්‍රතික්ෂේප කරන ලදී. කිසිම කතෝලික පූජකවරයෙකු එතෙර නොකරන ලෙස ඔවුන් හට අණ
ලබා දී තිබිණි. අන්තෝනියෝද හෝර්තාගේ අදහස වූයේ ද ජුසේ වාස් මුනිතුමා මහනුවර ලෙස නොයා යුතු ලෙසය. කළ හැක්කේ කුමක්ද යන වගත්, ජුසේ වාස් මුනිතුමා නැවත තම රාජධානියේ විසීම පිළිබද රජතුමාගේ අදහස කුමක්ද යන වගත් දැන ගැනීම ස`දහා ඔහුම එහි යා යුතු බව ඔහුගේ අදහස විය. පියවරුන් දෙදෙනා තම නිවසෙහි නතර කළ ඔහු මහනුවර වෙත පිටත් වූයේය. කලක් ගතවූද, ඔහු පිළිබදව තොරතුරක් නොලද්දේය. අනෙක් අතට ජුසේ වාස් මුනිතුමා තම රාජධානියේ වෙසෙන බව රජු ප්‍රත්‍යක්ෂ ලෙස දන්නා නමුත් එතුමන්ලාට එරෙහිව කිසිදු පියවරක් මේ වන තෙක්ම නොගන්නා ලදී. රටින් පිටුවහල් විය යුතු වූ නියෝගය නිකුත් කරන
ලද්දේ ගරු ජෝශප් කර්වල්හෝ පියතුමා වෙත පමණක් බැවින්, ජුසේ වාස් මුනිතුමා තවදුරටත් මහනුවර වෙත පැමිණීම ප්‍රමාද කිරීමද රාජ්‍ය සභාව වැරදි අරුතකින් තේරුම් ගෙන, පියතුමාගේ විරුද්ධවාදීන් නැගූ චෝදනා පිළිබද නිහඩව එකගතාවයකට එළැඹෙනු ඇතැයි පියවරුන් බිය වූහ. මෙබැවින් වාස් පියතුමා නොපමාව මහනුවරට යා යුතු යැයි පසුව තීරණය කළෝය.
ඉතා උද්‍යෝගිමත් ව යාච්ඤා කළ ජුසේ වාස් මුනිතුමා තම ගමන ආරම්භ කළේය.
ඉහළින් නියෝග ලබා තිබු නමුත්, තොටියෝ මෙවර එතුමා නොවැලැක් වූ බැවින් ගග තරණය කොට මහනුවර වෙත ළගා වූ එතුමා එහි වූ හොර්තාගේ නිවාසෙහි නවාතැන් ගත්තේය. අන්තෝනියෝ ද හොර්තා සැළකොට සිටියේ රජතුමා ජුසේ වාස් මුනිතුමා පිළිබදව තවදුරටත් පැහැදීමකින් සිටින බවය. බලවත් වූ රාජ්‍ය සභිකයින් පිරිසක් රජුට පක්ෂව සිටින බවත් ගරු ජෝශප් කර්වල්හෝ පියතුමා
නෙරපීම හා දේවස්ථානය කඩා බිද දැමීම වරදක් බව ඔවුන් ප්‍රසිද්ධියේ පවසා සිටින බවත් තවදුරටත් ඔහු පැවසීය. කළ යුත්තේ කුමක්දැයි තීරණය කරගැනීම එතුමාට අපහසු විය.
කතෝලිකයෝ එක්රැස්කොට, තමා අන්තෝනියෝද හොර්තා හමු වී මේ පිළිබදව සාකච්ඡා කරන තෙක් මෙම ප්‍රශ්නය සදහා යාච්ඤා කරන්නැයි ඉල්ලා සිටියේ ය.
ඔවුන් මේ ප්‍රශ්නය පිළිබදව සාකච්ඡා කරන අතර තුර බලපොරොත්තු නොවූ
අමුත්තෙක් නිවසට පැමිණියේය. ඔහු වූ කලී, අන්‍යාගමික මෙන්ම ඉතා බලවත් පුද්ගලයෙකු වූ රාජ්‍ය වෛද්‍යවරයා ය. ගෘහය තුලට ආරාධනා ලබන්නටත් ප්‍රථම ජුසේ වාස් මුනිතුමාට ආචාර කළ ඔහු ජුසේ වාස් මුනිතුමා වෙත යෝජනාකොට සිටියේ රජතුමා හා ජුසේ වාස් මුනිතුමා අතර මැදිහත් ලෙස ක්‍රියා
කිරීමට තමාට ඉඩදෙන ලෙසිනි. මොහු තමා මින්පෙර දැක නැති නානදුන පුද්ගලයෙකු වුවද
ජුසේ වාස් මුනිතුමා ඔහුගේ යෝජනාවට එකග විය. එදිනම සවස් වරුවේ නැවත පැමිණි මෙම අමුත්තා කියා සිටියේ ජුසේ වාස් මුනිතුමාට කදුරට විසීමට අවසර ලැබුණා පමණක් නොව ගරු ජෝශප් කර්වල්හෝ පියතුමා හටද නැවත රාජධානිය වෙත පැමිණීමට අවසර දුන් බවය. එපමණක් ද නොව, රජුගේ අදහස වූයේ ඔවුන් වහාම නව දේවස්ථානයක් ඉදිකරලීමේ කාර්යයේ නිරත විය යුතු බවය.
එමගින් ඒ තාක් ජුසේ වාස් මුනිතුමා ලක්දිව ධර්මදූත සේවයෙන් අත් නුදුටු තරම් නිදහසක් දේව සභාව වෙත කදුරට රාජධානියෙන් ලැබිණ. එහෙත් මීසම්වල අධික වූ රාජකාරි මෙන්ම ගතු වූ පීඩාකාරී කාල පරිච්ඡේදය එතුමාගේ ශරීර සෞඛ්‍යට එතරම් හිතකර නොවුණි. එතුමා තදබල ලෙස රෝගාතුර විය. රජතුමා තම පෞද්ගලික වෛද්‍යවරයාද පියතුමාගේ සාත්තුවට එවා, නිතර ඔහුගේ සුවදුක්ද විමසා බැලීය. ක්‍රමයෙන් මදක් සුවය ලද පසු ජුසේ වාස් මුනිතුමා දේවස්ථානය නැවත ගොඩනැගීමේ කාර්යය ඇරඹීය. බෝගම්බර අවට ප්‍රදේශයකින් මේ සදහා භූමියක් ලබා දුන් අන්තෝනියෝ ද හොර්තා දේවස්ථානය ගොඩ නැගීම සදහා අවශ්‍ය වියහියදම් පියවීමට විශාල මුදල් සම්භාරයක් ද ලබා දුන්නේය. ඉතා උද්‍යෝගිමත්ව කටයුතු කළ කතෝලිකයෝ පස් මසක කාලයක් තුලදී දේවස්ථානය ඉදිකොට සම්පූර්ණ කළෝය. මෙය එතරම් විශාල ගොඩනැගිල්ලක් නොවූ නමුත් මහනුවර හා ඒ අවට සිටි කතෝලිකයන් හට එය ප්‍රමාණවත් විය.
ක්‍රි.ව. 1699 සැප්තැම්බර් මස 08 වැනි දින දේවස්ථානය ආශිර්වාදකොට එය මිසදිටුවන්
සත්‍යාගමට හැරවීමේ අප ස්වාමිදුගේ නමින් දේවමාතාවන් නමට කැපකොට, ඉතා උත්කර්ෂවත් අන්දමින් විශාල ජන සමුදායන් මධ්‍යයේ දේව මෙහෙය පැවැත්වීය. ජුසේ වාස් මුනිතුමා ඉන්පසුව මෙහි මීසම් ගෘහයක්ද, නව රෝහලක්ද ඉදිකළේය. පසු කලෙක ජෝන් කර්වගෝ පියතුමාද ජුසේ වාස් මුනිතුමා ද ස්වර්ගස්ත වූ කල මිහිදන් කරන ලද්දේ මේ දේවස්ථානය තුලය.